පාසලේ ඉතිහාසය 
තලල්ල උතුර ගම් ප්‍රදේශයට අඩුපාඩුවක් ව පැවති පාසලක අවශ්‍යතාවය අවබෝධ කරගත් ප්‍රදේශවාසීහු ඊට පිළියමක් ලෙස, කුප්පියාවත්තේ ජයසේකරාමාධිපති තලල්ලේ සිරිධම්ම රක්ඛිත හිමියන්ගේ මග පෙන්වීමෙන් හා මාර්ටින්ද සිල්වා ජයසිංහ ගුණසේකර මුහන්ධිරම් රාලහාමිගේ මූලිකත්වයෙන් 1949.01.01 දින “සිරි දහම් රැකි පාසල” නමින් මෙම පාසල ආරම්භ කර ඇත.එහිදී භූමි භාගය ලෙස තෝරා ගත් අක්කර 01 පර්චස් 24 යි රූඩ් 02 ක් වූ “කෑල්ලගෙහේන” නැමැති ඉඩම ප්‍රදේශවාසින් සිය කැමැත්තෙන්ම පරිත්‍යාග කරන ලද්දකි.
මෙම පාසල “තලල්ල උතුර ආණ්ඩුවේ පාසල” නමින් 1949.01.04 දින රජයට පවරා ගන්නා ලද අතර,ආරම්භක විදුහල්පතිවරයා වූයේ එස්.ඒ.බාලපටබැදි මහතාය.ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 40 කි.ප්‍රථම ශිෂ්‍යයා වන්නේ ඩී.බී.ජයතිස්ස වේ.1949.01.06 දින උදේ 09.29 ට යෙදුණු සුබ මොහොතින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අකුරු කියවා පාසලේ කටයුතු ආරම්භ වූ බව සදහන්ව ඇත.
දෙවන මුල් ගුරු ලෙස එච්.තේමිස් මහතා 1954.12.31තෙක් කටයුතු කර ඇති අතර, එම කාලය තුළ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ශිෂ්‍යයෙකු සමත් වීම වැදගත් සන්ධිස්ථානයක් බව සදහන් කරනු වටී.මෙතුමාගේ කාලය තුල භෞතික සම්පත්වල මෙන්ම මානව සම්පත් වල වර්ධනයක් දක්නට ලැබේ.
1955.01.03 දින සිට බී.ජයසිංහ මහතා විදුහල්පති ලෙස පත් වූ අතර,ඔහුගේ සේවා කාලය තුළ භෞතික හා මානව සම්පත් වල සීග්‍ර වර්ධනයක් සිදු වූ බව පෙනේ.විද්‍යාලයීය ජේෂ්ඨ පන්ති ආරම්භය මෙම කාලය තුල සිදුවී ඇති අතර විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම්වල විශාල ප්‍රගතියක් පෙන්වා ඇත.තවද් ප්‍රදේශයේ පාසල් අතර මෙම පාසල සුවිශේෂී ස්ථානයක් ලබා ගෙන තිබූ බව පැහැදිලි වේ.
බී.ජයසිංහ මහතා විශ්‍රාම යාමත් සමග 1965.03.06 දින සිට ඩී.එච්.මුණසිහ මහතා විදුහල්පති ලෙස පත්වී ඇත.මෙම කාලසීමාව තුල දෙවිනුවර අධ්‍යාපන කොට්ඨාසයේ නියාමක පාසල ලෙස මෙම පාසල තෝරා ගෙන තිබීම සුබදායක සිදුවීමකි.ඉන් පසුව ඊ.සී.රුද්‍රිගූ මහත්මිය වැඩ බලන විදුහල්පතිවරියක ලෙස කටයුතු කර ඇත.අනතුරුව කෙටි කාල සීමාවක් සදහා ඩී.ඒ.විදානාච්චි මහතා විදුහල්පති ලෙස පත්වී ඇත.
1971.8.01 දින සිට විදුහල්පති ලෙස එස්.එච්.ලියනගේ මහතා කටයුතු කර ඇත.මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත්කර ගැනීම සදහා මහත් වෙහෙසක් දරා ඇති නමුත් එය සාර්ථක වී නැත.
1975.05.05 දින සිට එච්.ඒ.පියදාස මහතා විදුහල්පති ලෙස කටයුතු කර ඇත.එම කාල සීමාව තුළ එනම් 1977.01.24 දින මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත් වී ඇත.ජා.පො.ස. වාණිජ විෂය ධාරාව ආරම්භ වීම සහ පාසල් පුස්තකාලය ආරම්භ වීම ද මෙම කාල සීමාව තුල සිදුවී ඇත.1981.11.16 දින නැවත වාණිජ විෂය ධාරාව ඉවත් කිරීම සිදුවී ඇත.මානව සම්පත වර්ධනය වීම මෙම කාල සීමාව තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.
1981.10.12 දින නව විදුහල්පති ලෙස කේ. නන්දසේන මහතා පත් වී ඇත.අ.පො.ස.උසස් පෙල කලා විෂය ධාරාව ආරම්භය මෙතුමාගේ කාලසීමාව තුළ සිදු වූ වැදගත් සිදුවීමකි.පළමු වරට සිසුන් තිදෙනෙකු විශ්ව විද්‍යාල වරම් ලැබීම මෙම පාසල් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. තවද විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වල මහත් ප්‍රගතියක් සනිටුහන් වූ කාලසීමාවක් වී ඇති අතර,සමස්තයක් ලෙස පාසල තුළ වර්ධනීය ලක්ෂණ රැසක් දක්නට ලැබුණු බව පෙනේ.දෙවිනුවර අධ්‍යාපන කොට්ඨාසයේ “දියුණු කළ යුතු පාසල”(ඩී.එස්.ඩී.පාසල) ලෙස තෝරා ගැනීම මගින් ඒ බව සනාථ වේ.
1998.01.21 දින සිට ජී.එල්.හේමලතා යාපා මහත්මිය විදුහල්පති ධූරයට පත් වී ඇති අතර එතුමිය කලක් මෙම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරියක ලෙස සේවය කර තිබීම නිසා පාසලේ කටයුතු කිරීමට එය මග පෙන්වීමක් වූ බව පැහැදිලි වේ.1999.01.01 දිනට යෙදුණු විද්‍යාලීය ස්වර්ණ ජයන්ති උළෙල සාර්ථක ලෙස පවත්වා ඇති අතර පාසලේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් එය “ස්වර්ණ ජයන්ති” ගොඩනැගිල්ල ලෙස ඉතිහාසයට එක් කර ඇත. තවද මෙම වකවානුව තුළ මෙම පාසැල තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය ලෙස නම් කර ඇති අතර,නවෝද්‍යා පාසල් ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනීම ද සිදු වී ඇත .සමස්තයක් ලෙස මෙම පාසල මාතර කලාපය තුළ කැපී පෙනෙන පාසලක් බවට පත්කර ගැනීමට සමත් වී ඇති බව පෙනේ.
2006.01.01 දින සිට ඒ.ඒ. රණවීර මහතා විදුහල්පති වශයෙන් පත්වීඇත. මෙම කාලය තුල 01 ශ්‍රේණියේ සිට11 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති තුන බැගින් ආරම්භය වැදගත් සිදුවීම්ක් වන අතර,ඒ මගින් විද්‍යාලය තුළ මානව සම්පත් සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත.අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල ජයග්‍රහණ රැසක් ලබා ගත්ගත් කාලසීමාව ක් වන බව සඳහන් කළ හැකිය. එමෙන්ම දෙව්නුවර අධ්‍යාපන කොට්ඨාසයේ සුවිශේෂී පාසල ලෙස පෙරමුණ ගත් පාසල් බවට පත් වීමටද හැකියාව ලැබී ඇත.එතුමා විශ්‍රාම යාමත් සමග 2018.07.02 දින සිට කෙටි කලක් පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ නයනා තේනුවර මහත්මිය පාසලේ වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කර ඇත.
2018.07.19 දින සිට මේ දක්වා බී.ඩබ්ලිව්.ඩී. කුමාරිහාමි මහත්මිය විදුහල්පති ලෙස කටයුතු කරයි.කලක් මෙම විද්‍යාලයේ ගුරුවරියක ලෙස මහඟු සේවයක්ක් ඉටු කර ඇති මෙතුමිය මනා වූ බෝධයකින් පාසලේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය බොහෝ පියවර ගෙන ඇත. භෞතික සම්පත් රැසක් පාසලට ලබා ගැනීමට හැකි වී ඇත.පාසලේ ගැහැණූ ළමුන් සදහා ඒකක 05 ක වැසිකිලි පද්ධතියක් ඉදි වීමද,ක්‍රීඩා පිට්ටනිය කොටසක පැති බැම්ම යෙදීම,”ළගම පාසල හොදම පාසල”වැඩ සටහන යටතේ පාසලට ලැබුණු දෙමහල් තාක්ෂණාගාර ගොඩනැගිල්ල සහ ප්‍රාථමික ඉගෙණුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමද සිදු විය. එමෙන්ම මානව සම්පත් ඵලදායී ලෙස යොදා ගැනීම්ට කටයුතු කර ඇත. ශිෂ්‍ය සාධන මට්ටම් වර්ධනය,භාෂා කුසලතා වර්ධනය හා විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සුවිශේෂී ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මකත්මක කර තිබීම විශේෂයෙන් දැකිය හැකි තත්වයකි. ගණිත විෂය සදහා රජය මගින් GEM ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමද මෙම කාලය තුළ සිදුවිය. එමෙන්ම මෙම කාල සීමාව තුළ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක ජයග්‍රහණ ලබාගෙන ඇති අතර, ඒ තුළින් පාසලේ ප්‍රගතිය පෙන්වා ඇත. විශේෂයෙන් මෙතෙක් පාසලට අඩුපාඩුවක්ව පැවති ආදි ශිෂ්‍ය සංගමය නැවත ආරම්භ වීම ද වැදගත් සිදුවීමක් වන අතර, එය පාසලේ අභිවෘද්ධිය සඳහා ගන්නා ලද මහඟු පියවරකි. පාසලේ ඉදිරි ගමන වෙනුවෙන් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල් සංවර්ධන සමිතිය ආදි ශිෂ්‍ය සංගමය හා සුබ පතන්නන් සමඟ මනා සහයෝගයකින් කටයුතු කිරීම මෙම කාල සීමාව තුළ දැකිය හැකි තත්වයකි. තවද මෙම කාල සීමාව තුළ මෙම පාසල “ජාතික පාසලක්” ලෙස ඉදිරි පියවර තැබීම අනාගතයේ දිනක පාසලේ ඉතිහාසය සම්බන්ධයෙන් ස්වර්ණමය සටහනක් වනු ඇත.
